ගම්මන්පිලගේ කෝටි 11ක කම්බ හොරකම.


පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල විසින් ඕස්ටේ‍්‍රලියානු සමාගමක් සතු වත්කම් ව්‍යාජ ලෙස පවරා ගනිමින්, එම වත්කම් විකුණා දැමීමක් පිළිබඳ තොරතුරු පසුගිය මහ මැතිවරණයට පෙර කරළියට පැමිණි අතර, ඒ සම්බන්ධව උදය ගම්මන්පිල විසින් මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර සිටියේ මෙය තමන්ගේ චරිතය විනාශ කිරීම සඳහා කරන ලද මඩ ප‍්‍රහාරයක් බවයි. එහෙත්, ඔහු විසින් එසේ හැඳින් වූ මඩ ප‍්‍රහාරයේ බොහෝ දේ මේ වනවිට එකින් එක හෙළිදරවු වෙමින් තිබේ.

උදය ප‍්‍රභාත් ගම්මන්පිල මොනෑෂ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමෙන් පසුව සිය පළමු රැකියාව අරඹන්නේ ‘මෙට්ල් රිසයික්ලර්ස්’ සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා වශයෙනි. එම සමාගමේ 50%ක කොටස්වල හිමිකාරිත්වය දරන්නේ ඔස්ටේ‍්‍රලියානු ජාතිකයකු වන බ‍්‍රයන් ෂෙඩික් නමැත්තා ය. ඔහු සතුව ලංකාවේ තවත් සමාගම් කිහිපයක ම කොටස්වල හිමිකාරිත්වය පැවැතිණි. ‘පෑන් ඒෂියා’ බැංකුව ද ඔහු විසින් කොටස් මිල දී ගත් එවැනි එක් සමාගමකි.

‘මෙට්ල් රිසයික්ලර්ස්’ සමාගමෙන් ඉවත් වන උදය ප‍්‍රභාත් ගම්මන්පිල ‘පී‍්‍රන් ලංකා’ නමින් පෞද්ගලික සමාගමක් ආරම්භ කරයි. එහෙත් ඒ වනවිටත් බ‍්‍රයන් ෂෙඩික් සතුව තිබූ ‘පෑන් ඒෂියා’ බැංකුවේ කොටස්වලින් කොටස් මිලියන 2.1ක් ‘වණික් ඉන්කෝපරේටඞ්’ සමාගමට විකුණා දමා ඇත. ඒ බ‍්‍රයන් ෂෙඩික්ගේ විශේෂ ඇටෝර්නි බලකරුවකු විසින් 1997 වසරේ දී ය. පෑන් ඒෂියා බැංකුවේ බ‍්‍රයන් ෂෙඩික් සතු වූ සම්පූර්ණ කොටස්වලින් මිලියන 4.1න් ඉතිරි කොටස් මිලියන දෙක ද 2000 වසරේ දී ඉහත කී ඇටෝර්නි බලකරු විසින් ම ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකුට විකුණා දමයි. මේ අනුව බ‍්‍රයන් ෂෙඩික් සතුව තිබූ පෑන් ඒෂියා බැංකුවේ සියලුම කොටස් අවසන් වේ. මෙය බ‍්‍රයන් ෂෙඩික්ගේ අනුදැනුම මත සිදු වූවක් නොවන බව අනාවරණය වන්නේ 2014 වසරේ දී ඔහුගේ සත්‍ය ඇටෝර්නි බලකරු වන ලසිත පෙරේරා යන අය විසින් කරන ලද පැමිණිල්ලක් හේතුවෙනි. එහි සඳහන් වූයේ ව්‍යාජ ඇටෝර්නි බලපත‍්‍රයක් මගින් උදය ප‍්‍රභාත් ගම්මන්පිල විසින් බ‍්‍රයන් ෂෙඩික්ට අයත් පෑන් ඒෂියා බැංකුවේ කොටස් වංචාසහගත ලෙස විකුණා දමා ඇති බවයි. මේ සම්බන්ධව එම අවස්ථාවේ දී සිදු කරන ලද මූලික විමර්ශනයේ දී පෑන් ඒෂියා බැංකුව විසින් විශේෂ විමර්ශන ඒකකය වෙත ලබා දෙන ලද තොරතුරුවලට අනුව බ‍්‍රයන් ෂෙඩික්ගේ නමට පෑන් ඒෂියා බැංකුවේ කිසිදු කොටසක් තිබී නැති බවට තහවුරු කරනු ලැබිණි. උදය ගම්මන්පිල විසින් මාධ්‍ය අමතා ඉහත කී ප‍්‍රකාශය කරන ලද්දේ ඒ පිළිබඳව විශේෂ විමර්ශන ඒකකයට ප‍්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ය.

එහෙත්, සිදුවීම එතැනින් අවසන් වන්නේ නැත. 2014 වසරේ අගෝස්තු මස 02 වැනි දින බ‍්‍රයන් ෂෙඩික් ලංකාවට පැමිණෙන්නේ මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා ය. මෙහි දී පැමිණිල්ලේ අන්තර්ගත වූ මූලික ගැටලුව නිරාකරණය වන අතර, ඒ අනුව පෑන් ඒෂියා බැංකුවේ කොටස්වල හිමිකාරිත්වය තිබී ඇත්තේ, බ‍්‍රයන් ෂෙඩික්ගේ පෞද්ගලික නමට නොව ඔහුගේ හිමිකාරිත්වය යටතේ තිබෙන ‘ඩිජිටල් නොමිනීස්’ (Digital Nominees)  සමාගමේ නමට බව අනාවරණය විය. ඒ අනුව පැමිණිල්ල යළි සංශෝධනය වන අතර, බී 52/2015 පැමිණිලි අංකය යටතේ සංශෝධනය වන මෙම පැමිණිල්ලට අනුව නැවත විමර්ශන කටයුතු ආරම්භ වෙයි.

ඒ අනුව නැවත අපරාධ විමර්ශන අංශය විසින් පෑන් ඒෂියා බැංකුවෙන් කරන ලද විමසීමකට අනුව ‘ඩිජිටල් නොමිනීස්’ ආයතනයේ නමට ඉහත කී කොටස් මිලියන 4.1ක් තිබී ඇති බවත්, ඒවා 1997 වසරේ සහ 2000 වසරේ විකුණා ඇති බවත්, එම ගනුදෙනුවට උදය ප‍්‍රභාත් ගම්මන්පිල සෘජුව මැදිහත් වී ඇති බවත් මේ වනවිට අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වේ. එසේ ම ඒ සඳහා උදය ප‍්‍රභාත් ගම්මන්පිල විසින් යෙදාගෙන ඇති ඇටෝර්නි බලපත‍්‍රය ව්‍යාජ ලෙස සකස් කරන ලද්දක් බවට ද හෙළිදරව් වී තිබේ.

එම ඇටෝර්නි බලපත‍්‍රයේ ඇති අත්සන් ව්‍යාජ ලෙස යෙදූ ඒවා බවට සැක කෙරෙන අතර, අවසානයේ අත්සන් දෙකක් යෙදීම එවකට ලංකාවේ පැවැති නීතියට අනුව සිදු විය යුත්තක් වුවත්,  ඕස්ටේ‍්‍රලියාවේ නීතියට අනුව යෙදිය යුත්තේ එක් අත්සනක් පමණි. ඒ අනුව මෙම ඇටෝර්නි බලපත‍්‍රය  ඕස්ටේ‍්‍රලියාවේ සකස් කරන ලද්දක් වුවත්, අත්සන් දෙකක් යොදා ඇත. ඕස්ටේ‍්‍රලියාවේ කිසිදු වගකිව යුතු නීති අංශයක් විසින් එය නෛතික ලියැවිල්ලක් ලෙස සනාථ කර නොමැති අතර, ලංකාවේ නීතිඥවරියඉක විසින් එය සත්‍ය පිටපතක් ලෙස සහතික කිරීම පමණක් සිදු කර තිබේ.

1997 අපේ‍්‍රල් මස 18 දිනැතිව සකස් කර ඇති මෙම ඇටෝර්නි බලපත‍්‍රයේ පස්වැනි සහ හත්වැනි වගන්ති ද විවාදයට තුඩු දෙන සහ එවැනි වගන්ති ඇටෝර්නි බලපත‍්‍රයක තිබිය හැකි දැයි පිළිගැනීමට නොහැකි තත්ත්වයේ කරුණු අන්තර්ගත වගන්තීන් ය. පස්වැනි වගන්තියට අනුව ඩිජිටල් නොමිනීස් සමාගමට අදාළ පෑන් ඒසියා බැංකුවේ කොටස් විකිණීම සහ මිල දී ගැනීම පෑන් ඒෂියා බැංකුවේ අනුමැතිය ඇතිව ඕනෑම අවස්ථාවක සිදු කළ හැකි බවයි. කුමන ආකාරයකින් හෝ සමාගමට ලැබෙන මුදල් අදාළ සමාගමේ ගිණුමේ හෝ පෞද්ගලික ගිණුමක තැන්පත් කර ගත හැකි බව අදාළ ඇටෝර්නි බලපත‍්‍රයේ නවවැනි වගන්තියේ දක්වා ඇත. ඒ නිසා ව්‍යාජ ඇටෝර්නි බලපත‍්‍රය මගින් උදය ගම්මන්පිල විසින් විකුණන ලද පෑන් ඒෂියා බැංකුවේ රුපියල් 27 බැගින් වටිනා කොටස් මිලියන 4.1 විකිණීමෙන් ලද රුපියල් එකොළොස් කෝටි හත් ලක්ෂයක (110,700,000.00) මුදලට සිදු වූයේ කුමක්ද යන්න සිතා ගැනීම අපහසු නැත. බ‍්‍රයන් ෂෙඩික් වෙත හෝ ඩිජිටල් නොමිනීස් සමාගම වෙත මින් කිසිදු මුදලක් ලැබි නොමැත.

කෙසේ වුව ද, මේ වනවිට අදාළ විමර්ශන කටයුතු වැඩි දුරටත් කෙරෙමින් පවතින අතර, පාර්ලිමේන්තු මන්තී‍්‍ර, උදය ප‍්‍රභාත් ගම්මන්පිල මෙම චෝදනාවන්ට වගඋත්තර බැඳීමට අනිවාර්යයෙන් ම සිදු වන වාතාවරණයක් උද්ගත වන බව විමර්ශන නිලධාරීන්ගේ අදහස වී ඇත.

ඒ අනුව ඇල්වතුරත් නිවා පානය කළ, තවමත් එසේ කරනවා යැයි ජනතාවට පුන පුනා කියන උදය ගම්මන්පිලගේ මෙම ගනුදෙනුව පිළිබඳව මෙවර පැහැදිලි කිරීම නුදුරේ දී ම ජනතාවට දැනගත හැකි වනු ඇත.

ගම්මන්පිල බ‍්‍රයන් ෂෙඩි‍්‍රක්ට අයත් කොටස් වැරදි ලෙස අන්සතු කර තිබෙනවා-ලසිත පෙරේරා

බ‍්‍රයන් ෂෙඩි‍්‍රක් නීත්‍යානුකූලව එම නඩු කටයුත්ත සඳහා සියළු බලතල ඇටෝනි බලයකින් මට ලබාදී තිබෙනවා. මම ඒ අනුව බී52/2015 පැමිණිලි අංක යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. උදය ගම්මන්පිල බ‍්‍රයන්ස් ෂෙඩි‍්‍රක්ගේ තිබූ සිලෝන් ටී ගාර්ඩන්ස්, ෆෑන් ඒෂියා බැංකුව, මෙට්ල්ස් රීසයිකල් කලම්බෝ යන සමාගම්වල මොහුගේ තිබූ කොටස් අන්සතු කොට විකුණා, සල්ලි අරන් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් බ‍්‍රයන් ෂෙඩි‍්‍රක්  විසින් පසුගිය අගෝස්තු 01 දා ලංකාවට පැමිණ රහස් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එමගින් මම බී52/2015 අංක යටතේ කළ පැමිණිල්ල ස්ථීර කරනු ලැබුවා. මේ සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතාට සෘජුවම කොටස් අන්සතු කිරීම සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කර තිබෙනවා. ඒ පිළිබඳ මේ වනවිට විමර්ශන කටයුතු සිදු කරනවා. එක් අයෙකුගෙන් රහස් පොලීසිය මගින් කටඋත්තර ලබාගෙන තිබෙනවා.

ඒ අනුව ඒ ගැන පැමිණිල්ලක් ඉදිරිපත් කළ පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ෆෑන් ඒෂියා බැංකුවෙන් සහ සමාගම් රෙජිස්ටාර් කාර්යාලයෙන් ප‍්‍රධාන ලිපිලේඛන විමර්ශනය කර තිබෙනවා. ඉදිරියේදී මෙම සිදුවීමට අදාළ නඩු කටයුතු ගොනුකිරීමට දැනට අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු දක්වා තිබෙනවා. මේ අනුව සිඩ්නි ජයසිංහටත්, උදය ගම්මන්පිලටත් චෝදනා ඉදිරිපත් කර තිබෙනවා. එම සමාගම්වල අධ්‍යක්ෂවරයෙක් වන ජගත් විජේරත්නගේ නම සඳහන්කර තිබෙනවා. ඔහු මේ වනවිට තම කටඋත්තරය ලබා දී තිබෙනවා,

මේක විදේශ රටවලින් ලංකාවට පැමිණ ආයෝජනය කරන ආයෝජකයින්ට කළ අසාධාරණයක්, වංචාවක්. මේකෙන් සිදුවන්නේ, කිසිදු ආයෝජකයෙක් මේ රටට පැමිණ නැවත ආයෝජනය නොකිරීමයි.

මගේ සමාගමේ මුදල් සොරකම් කළේ ගම්මන්පිල-බ‍්‍රයන් ෂෙඩික්

මම  ඕස්ටේ‍්‍රලියානු ජාතිකයෙක්. මම කොළඹ කොටස් වෙළඳපොළේ සමාගම් තුනක මුදල් ආයෝජනය කර තිබෙනවා. මා සතු ආයෝජන මේ වන විට සොරකම් කර තිබෙනවා. මට මීට පෙර මේ ගැන කථා කිරීමට නොහැකි වූයේ ඒ සඳහා වගකිවයුතු වන්නේ එකල රජයට සම්බන්ධ ප‍්‍රබල දේශපාලනඥයෙකු නිසා. ඔහු උදය ගම්මන්පිල. උදය ගම්මන්පිල මා සතු සමාගම් කොටස් මුදල් සහ දේපොළ සොරකම් කර තිබෙනවා. ඒ සම්බන්ධ සියළු තොරතුරු දැන් මා සතුව තිබෙනවා.

උපුටාගැනීම ලංකා ඉරිදා සංග්‍රහය

Share on Google Plus