ව්‍යවස්ථාදායක සභාව පළමුවරට අද රැස්වේ.


දහනව වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ස්ථාපිත පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාවේ පළමු රැස්වීම අද (10) දහවල් 12ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ. ව්‍යවස්ථාදායක සභාව සාමාජිකයන් දස දෙනෙකුගෙන් සමන්විත වන අතර එහි සභාපතිවරයා වන්නේ කථානායකය. අගමැති, විපක්ෂ නායක හා කථානායක නිල බලයෙන් මෙහි සාමාජිකයෝ වෙති. ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස ඇමැති පාඨලී චම්පික රණවක මහතා පත් කර ඇති අතර අගමැතිගේ නියෝජිතයා ලෙස ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පත් කර තිබේ.

විපක්ෂ නායකගේ නියෝජිත ලෙස මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පත් කර ඇති අතර ව්‍යවස්ථාදායක සභාවේ ඝනපූර්ණය පවතින බැවින් එයට රැස්විය හැකි බව කථානායකවරයා තීරණය කර ඇත.  

මහජන නියෝජිතයන් හත් දෙනාට අමතරව සිවිල් නියෝජිතයන් තිදෙනකු පත් කිරීමට නියමිත අතර මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන රාධිකා කුමාරස්වාමි, සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඒ.ටී.ආරියරත්න මහතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ගත යුතුය. හිටපු විනිසුරු ඒ.එම්. සලාම් මහතා ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයෙකු ලෙස නම් කළද ඔහු ඉල්ලා අස්වීම නිසා ඒ වෙනුවට කෙනෙකු නම් කිරීමද අද රැස්වෙන ව්‍යවස්ථාදායක සභාව කටයුතු කරනු ඇත. 

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් අද (10) පෙරවරු 11.00ට රැස්වෙන අතර එහිදී ව්‍යවස්ථාදායක සභාවට නියෝජිතයන් පත් කිරීම සම්බන්ධයෙන් මෙන්ම 22දා පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට නියමිතය. ඉන් අනතුරුව ව්‍යවස්ථාදායක සභාව කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙනු ඇත. 

ව්‍යවස්ථාදායක සභාව රැස්වීමෙන් පසු ස්වාධීන කොමිෂන් සභා 9ක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇතැයි පැවසේ. ව්‍යවස්ථාදායක සභාව මගින් මෙම කොමිෂන් සභා අධීක්ෂණය කිරීමටද 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් බලය පවරා තිබේ. ව්‍යවස්ථාදායක සභාවේ  සුළු පක්ෂ නියෝජනය කරමින්  ජනතා විමුක්ති පෙරමුණෙන් එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික, පක්ෂයේ ප්‍රචාරක ‍ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පත්කර ඇත. 

එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.


Share on Google Plus

0 comments:

Post a Comment