සජින් වාස්ටත් නීතිපති විරෝධයක් නැහැ.


ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන 23ක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් සහ වත්කම් බැරකම් ප්‍රකාශ නිසි ලෙස ලබා නොදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන, තමාට ඇප ලබා දෙන ලෙසට ඉල්ලමින් ගොනු කළ පෙත්සමට අදාළව විරෝධතා ගොනු නොකරන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා හමුවේ පසුගිය 16වනදා දන්වා තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලය සතු රජයේ වාහන 23ක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන අත්අඩංගුවට ගෙන තිබූ අතර ඉන් අනතුරුව අදාළ සැකකරු කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත් කර තිබිණි.

සැකකරුට ඇප ලබා දෙන ලෙසට ඔහුගේ නීතිඥවරුන් කළ ඉල්ලීම කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.

ඒ අනුව සජින් වාස් ගුණවර්ධන, තමාට ඇප ලබා දෙන ලෙස ඉල්ලමින් කොළඹ මහාධිකරණය වෙත ඇප පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි. එම ඇප පෙත්සමට අදාළ යම් විරෝධතාවක් ඇත්නම් එය ඉදිරිපත් කරන ලෙස මහාධිකරණය නීතිපතිවරයාට නියම කර තිබිණි.

මේ ඇප පෙත්සම 16වනදා කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා මහාධිකරණ විනිසුරුවරයා වෙත දන්වා සිටියේ එම ඇප පෙත්සමට අදාළ විරෝධතා ඉදිරිපත් නොකරන බවය.

එම කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වාර්තාවක් ලබන 23 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළ අතර ඒ අනුව අදාළ ඇප පෙත්සම ලබන 23 වැනිදා යළි කැඳවීමට නියමිතය.


Share on Google Plus

0 comments:

Post a Comment