ජනතාව ප්‍රතික්ෂේප කලේ මහින්ද ඇතුළු නඩයම -මරික්කාර්.


මෙරට බහුතර ජනතාව ජනාධිපතිවරණයේ දී ප‍්‍රතික්ෂේප කළේ මහින්ද රාජපක්ෂ පමණක් නොව ඔහු ඇතුළු මුළු නඩයම බවට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.

ඔහුගේ සම්පුර්න කතාව පහතින්,

"අපේ රටේ බහුතරයක් ජනතාව ජනාධිපතිවරණයේ දී ප‍්‍රතික්ෂේප කළේ මහින්ද රාජපක්ෂ විතරක් නෙමෙයි. එයත් එක්ක හිටපු මුළු නඩයම. 

චෝදනා තියෙන්නේ මහින්ද රාජපක්ෂටයි, එයාගේ පවුලේ අයටයි විතරක් නෙමෙයි. එයාගේ වටේ ඉඳගෙන කටු සූප්පු කරමින් හිටපු කණ්ඩායමත් ජනාධිපතිවරණයේ දී ජනතාව විසින් ප‍්‍රතික්ෂේප කළා. එම කණ්ඩායමට පාර්ලිමේන්තු මැතිවරණයේ දී නාම යෝජනා දුන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මිසක් එක්සත් ජාතික පක්ෂය නෙමෙයි. මහින්ද රාජපක්ෂ එක්ක ඉඳලා චෝදනා ලබලා මහින්ද රාජපක්ෂ පැරදුණාම ගොඩක් දෙනා එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන්න නාම යෝජනා ඉල්ලූවා. ඒත් එක්සත් ජාතික පක්ෂයට හැකි වුණා එවැනි අයට නාම යෝජනා ලබා නොදීමේ ප‍්‍රතිපත්තියක ඉන්න. ඒ ප‍්‍රතිපත්තියේ ඉන්න කියලා තමයි ජනතාව එක්සත් ජාතික පක්ෂයට දුන් පණිවිඩය.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත්වූ අය, ජනතාව ප‍්‍රතික්ෂේප කරපු අය ජනමතයට පයින් ගහලා ආයේ පාර්ලිමේන්තුවට ගෙනාවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ සන්ධානයයි. හැබැයි එහෙම පැරදිච්චි එක්කෙනෙක්වත් එක්සත් ජාතික පක්ෂය ගෙනාවේ නෑ. ඒ විතරක් නෙමෙයි ඇමති මණ්ඩලය පත් කිරීමේ දී එක්සත් ජාතික පක්ෂය චෝදනා ලබපු කිසි කෙනෙකුට ඇමතිකම් දීලා නෑ. හැබැයි මේ ඇමති මණ්ඩලය තුළ ඉන්නවා පිස්සෝ, කුඞ්ඩෝ, හොරු, එතනෝල්කාරයෝ, මිනීමැරුම්වලට චෝදනා ලබපු අය. සම්මුතිවාදයට පින්සිද්ධ වෙන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මේගොල්ලෝ ඇමති මණ්ඩලයට ඇවිල්ලා ඉන්නවා. ජනතාව තුෂ්ණිම්භූත වෙලා බලා ඉන්නවා මේ ආණ්ඩුව ජනමතයට පයින් ගැහුවා කියලා.

මහින්ද මහත්තයා දිනුවහම ඇමතිවරු වෙන්න බලා හිටපු කට්ටියකුත් මෛත‍්‍රී ජනාධිපතිතුමාගේ වලිගේ එල්ලිලා ඇමතිවරු වෙලා ඉන්නවා. ඒ අය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට කිසිම වගකීමක් නෑ. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ප‍්‍රශ්න කරන්න කියලා. ඒ වාගේම ඊළඟ ප‍්‍රාදේශීය සභා මැතිවරණයෙන් පෙන්නන්න  ඕනේ මහින්ද රාජපක්ෂ පමණක් නෙමෙයි චෝදනා ලබපු හැම කෙනෙක්ම පරාජය කළා කියලා. එතකොටවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතා මතය මොකක්ද කියලා තේරුම් ගන්න උත්සාහ කරයි. ඒ නිසා සම්මුතිවාදයට ආවා කියලා අයුක්තියට, අසාධාරණයට, දූෂණයට, වංචාවට එරෙහිව අප නගපු හඬ යටපත් කරන්නවත්, නවත්වන්නවත් අපට බැහැ. දේශපාලනඥයෙකුට සියල්ලටම කලින් කොන්දක් තිබිය යුතුයි. ඒ නිසා ඔවුන්ට විරුද්ධව කළ අරගලය කෙතරම් දුෂ්කර වුණත් දිගටම කරනවා."
.

Share on Google Plus

0 comments:

Post a Comment