ආරක්ෂක සමුළුවෙන් ෆොන්සේකා කැපිලා.


ශ්‍රී ලංකා යුද හමුදාව වාර්ෂිකව සංවිධානය කරන “ආරක්ෂක සමුළුව 2015” පෙරේදා (01) කොළඹදී දෙස් විදෙස් ආරක්ෂක නියෝජිතයන් සහ ප්‍රධානීන් 350කගේ සහභාගිත්වයෙන් ආරම්භ වූ අතර එම සමුළුවට දකුණු ආසියාවේ දක්ෂතම හමුදාපතිවරයා වන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සහභාගි වූයේ නැත.

පසුගිය උතුරු නැ‍ඟෙනහිර මානුෂීය මෙහෙයුම මෙහෙයවමින් ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම මෙරටින් තුරන් කිරීමේ කර්තව්‍යය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් මෙහෙය වූ එවකට යුද්ධ හමුදාපතිවරයා මෙන්ම ලෝකයේ දක්ෂතම හමුදා නිලධාරීන්ට පිදෙන “ෆීල්ඩ් මාෂල්” ගෞරවනාමයෙන් පිදුම් ලැබූ සරත් ෆොන්සේකා මහතා එම සමුළුවට සහභාගී වනු ඇතැයි දෙස් විදෙස් ආරක්ෂක ප්‍රධානීන් මෙන්ම ඊට සහභාගි වූ රටවල් 62ක නියෝජිතයෝද බලාපොරොත්තුව සිටියහ.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට එම සමුළුවට ආරාධනය කර නැතැයි විවිධ පිරිස් අතර පසුගිය දින දෙකේම කතා බහට ලක්වී තිබුණි.

එම නිසා ඔහුට එම සමුළුවට ආරාධනා කළේද නැද්ද යන්න පිළිබඳ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්තද සිල්වා මහතාගෙන් දිනමිණ විමසීමක් කළේය. එම අවස්ථාවේ හමුදාපතිවරයා ප්‍රකාශ කළේ “ෆීල්ඩ් මාෂල්” සරත් ෆොන්සේකා මහතාට එම අවස්ථාවට ආරාධනා කළා. එහෙත් එතුමා සහභාගි වූයේ නැහැ. ඊට හේතුව නම් කුමක්ද දන්නේ නැහැ. එතුමා අපේ හිටපු හමුදාපතිවරයෙක්. ඒ වගේම රට වෙනුවෙන් කැප වූ අයෙක්.

මේ සමුළුවේ ප්‍රධානම ආරාධිතයන් කිහිපදෙනා අතරට එතුමාටද ආරාධනා කළා. පොල්තෙල් පහන දැල්වීම ඇතුළු සමුළුවේ ප්‍රධාන ආරාධිතයන්ට හිමි විශේෂ අවස්ථාවන්ද එතුමා වෙනුවෙන් වෙන්කර තැබුවා. එහෙත් එතුමා එම අවස්ථාවට සහභාගි නොවීමට හේතුව නොදන්නා බවද හමුදාපතිවරයා කීය.

මෙම ආරක්ෂක සමුළුවට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සහභාගි නොවූයේ මන්දැයි දැනගැනීමට ඔහු දුරකථනයට සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ නමුත් එහිදී ඒ මහතාගේ පෞද්ගලික ලේකම් දයා බස්නායක මහතා මේ ගැන හේතු ඉදිරිපත් කරමින් පැවසුවේ සරත් ෆොන්සේකා මහතාට එම ආරාධනය ලැබෙන විට වෙනත් ආරාධනා කිහිපයක් බාරගෙන සිටි බවයි. ඊට අමතරව මෙතරම් යුද අත්දැකීම් ඇති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා වෙනුවෙන් එම අත්දැකීම් ලෝක ආරක්ෂක ප්‍රධානීන්ට ඉදිරිපත් කිරීමට හෝ අවස්ථාව සලසා නොතිබූ බවත්ය. ෆිල්ඩ් මාෂල් ෆොන්සේකාට යුද්ධයෙන් පසු වසර 5 තුළම මෙම සමුළුව පැවතුනත් ඔහුට ආරාධනා ලැබුණ ප්‍රථම අවස්ථාව මෙය වේ.

Share on Google Plus

0 comments:

Post a Comment