'මාලබේ SAITM පිළිගන්නේ නෑ' - වෛද්‍ය සභාව ඉහළට දන්වයි.


වෛද්‍ය උපාධිය සඳහා රුපියල් අසූපන් ලක්‍ෂයක්‌ පමණ අය කරන මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධි ය පිළිනොගැනීමට ගත් තීරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට මෙන්ම සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට ද ලිතව දැනුම් දී ඇත.ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා සහ ලේඛකාධිකාරි වෛද්‍ය ටෙරන්ස්‌ ද සිල්වා යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව එම ලිපිය යවා ඇත. සියලුම අංශ සඳහා සායනික පුහුණුව ප්‍රමාණවත් නොවීම මෙන්ම අවශ්‍ය පහසුකම් නොතිබීම යන කරුණු මත එම උපාධිය පිළිනොගැනීමේ තීරණය ගෙන තිබේ.

මහාචාර්ය රිස්‌වි ෆෙරිෆ් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මහාචාර්යවරුන් හා වෛද්‍යවරුන් දසදෙනකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ මගින් මෙම වෛද්‍ය විද්‍යාලය නිරීක්‍ෂණය කළ අතර ඉහත කරුණු අනාවරණය වී ඇත්තේ එම නිරීක්‍ෂණයේදීය. මහාචාර්ය නිලන්ති ද සිල්වා, මහාචාර්ය රජිල් ප්‍රනාන්දු, මහාචාර්ය රංජනී ගමගේ, මහාචාර්ය වසන්ත ගුණතුංග, මහාචාර්ය කේ. සිවපාලන්, වෛද්‍ය එල්. බී. එල්. ද අල්විස්‌, වෛද්‍ය බී. ඡේ. සී. පෙරේරා, වෛද්‍ය එච්. එම්. එස්‌. එස්‌. ඩී. හේරත් හා වෛද්‍ය හේමන්ත පෙරේරා යන මහත්ම මහත්මීහු නිරීක්‍ෂණ කණ්‌ඩායමට ඇතුළත් වූහ.

2009 වසරේ ආරම්භ කළ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ මේ වන විට අධ්‍යාපනය ලබන සිසුන්ගේ සංඛ්‍යාව නවසියයකට ආසන්නය.


Share on Google Plus

0 comments:

Post a Comment