ජිනීවා දිනුම ගැන රනිල් මාධ්‍යට කතා කරයි.


උතුරේ පැවැති යුද්ධයේදී සිදුවූවා යැයි කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් දේශීය යාන්ත්‍රණයකින් පරීක්‍ෂණයක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ අලුත් යෝජනාවෙන් ශ්‍රී ලංකාවට අවස්ථාවක් ලැබී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමටත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් මේ ප්‍රශ්නය විස¼දන බවට නොයෙකුත් පොරොන්දු දුන්නත් ඒවා කිසිවක් ඉටු නොකිරීම ශ්‍රී ලංකාවට මේ තත්ත්වයට මුහුණදීමට හේතුවක් වූ බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. පසුගිය රජය පත්කළ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ යෝජනා හා නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමත් මෙවන් තත්ත්වයක් වර්ධනය වීමට හේතුවූ බවද අගමැතිවරයා කීය.
අගමැතිවරයා මෙසේ පැවැසුවේ අරලියගහ මන්දිරයේ ඊයේ (27දා) පෙරවරුවේ පැවැති විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය කර්තෘවරුන්ගේ විශේෂ මාධ්‍ය හමුවකදීය.

2009 යුද්ධය අවසන් අදියරේදී වූ සිද්ධීන් ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය යෝජනාවක් ගෙන ආ අවස්ථාවේදී ලංකාවේ නියෝජිතයන් එම යෝජනා 2009 වසරේදීම ක්‍රියාත්මක කිරීමට සූදානම් බවට පොරොන්දු වුවත් පසුගිය වසර අවසන් වන තෙක් ඒ කිසිවක් සිදුනොවූ බව මෙහිදී පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා පසුගිය මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ලංකාව සම්බන්ධයෙන් ගෙන ඒමට සූදානම් වූ යෝජනාවෙන් අපේ රටට බරපතළ ආර්ථික සම්බාධක, විදේශ ගමන් තහනම් කිරීම හා ඇතැම් රටවල් සමඟ කෙරෙන වෙළෙඳ ගනුදෙනු පවා තහනම් කිරීමේ ප්‍රවණතාවක් තිබූ බවත් කීය.

මේ වසරේ ජනවාරි 8 වැනිදාට කලින් මේ ප්‍රවණතාව ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විදේශ රටවල් ගණනාවක් සමඟ සාකච්ඡා කර තිබූ බවත් ජනවාරි 8 වැනිදා ඡන්දයෙන් ජයග්‍රහණය කළහොත් මේ ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විස¼දාගන්නට හැකිවෙතැයිද එදා දැනුම්දීමක් කරමින් ශ්‍රී ලංකාවට අහිතකර තීන්දු නොගන්නැයි ඉල්ලීමක් කළ අතර ජනවාරි 8 වැනි දින වන විටත් පැවැතියේ ඒ තත්ත්වයම බවත් පැවැසූ රනිල් වික්‍රමසිංහ මහතා මහ මැතිවරණයෙන් ජනවරමක් ලබා ගැනීමට අපේක්‍ෂා කරන නිසා එම වාර්තාව මාර්තු මාසයේ ඉදිරිපත් නොකරන ලෙස කළ ඉල්ලීමට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔවුන්ගේ මුල් යෝජනා අධ්‍යයනය කර අපට අහිතකර නොවන අලුත් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට අප කළ ඉල්ලීම අනුව වාර්තාව ඉදිරිපත් කිරීම සැප්තැම්බර් මස දක්වා කල්දැමූ බවද කීවේය.

මේ ප්‍රශ්නය අවසන් කර ධනාත්මක ලෙස විස¼දා ගන්නට ඒ අයුරින් අප ඉදිරිපත් වූ නිසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට අලුත් යෝජනාවක් ගෙන ඒමට හැකිවූ බවද වික්‍රමසිංහ මහතා කීවේය.
මෙහිදී විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා ඉදිරිපත්ව කරුණු දැක්වීම නිසා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම මුල්කරගෙන මේ මුළු යෝජනාව ඉදිරිපත්ව තිබෙන බව වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

නව යෝජනාවෙන් අදියර කීපයක් යෝජනා වී තිබෙන අතර මේ ප්‍රශ්නය අපේ රටට සෘජුව විස¼දා ගන්නට අපේ අධිකරණයට හා නීතියට පුළුවන්ද යන්න ගැන ජිනීවාවලට ප්‍රශ්නයක් තිබුණත් අපට එය දේශීය යාන්ත්‍රණයකින් විස¼දා ගන්නට හැකි බවට කරුණු දැක්වූ බවත් ඒ කාර්යයේදී පහසුකම් සැපයීමට විදේශ යාන්ත්‍රණයක් ඇති කිරීම ගැන අපේ විරෝධතාවක් නැති බව ප්‍රකාශ කළ බවත් අග්‍රාමාත්‍යවරයා කීවේය.

අධිකරණ පද්ධති ව්‍යුහයක් තුළින් පරීක්ෂණයක් පැවැත්වීමට වැඩි කාලයක් ගතවිය හැකි බැවින් ඉක්මනින් පරීක්ෂණ කටයුතු අවසන් කිරීමට පොදුරාජ්‍ය මණ්ඩලයේ විනිසුරුවන්, නීතිඥවරුන් සහභාගි කරවා ගැනීම වඩා හොඳ බව ඇමෙරිකාව යෝජනා කළත් එය අනිවාර්ය නොකළ බවත් පැවැසූ වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් කුමන තීන්දුවක් ගන්නේදැයි සම්බන්ධයෙන් සංවාදයක් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් බව කීය.

අතුරුදන් වූ පුද්ගලයන් සොයා ගැනීමේ කාර්යයට කාර්යාලයක් පිහිටුවීමටත්, යෝජනා ක්‍රියාත්මක කිරීම අදාළ මුළු ක්‍රමයටම උපදෙස් දීමට පොදුරාජ්‍ය මණ්ඩලයේ නීතිඥයන්ගෙන් යුත් කවුන්සලයක් පත්කිරීමටත් එකඟත්වය පළවී තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කෙළේය. එම උපදෙස් අපේ ක්‍රමයට හානියක් නොවන ආකාරයෙන් ලබාගැනීම ගැන අදහස් දක්වා තිබෙන බවද ඔහු කීය.මෙහිදී උදාහරණයක් වශයෙන් අග්‍රාමාත්‍යවරයා දැක්වූයේ අල්ලස් කොමිසම පිහිටුවීම ගැන පවතින නීතිමය තත්ත්වය හා නීතිපති දෙපාර්තමේන්තුවේ වර්තමාන තත්ත්වයයි. වරදකරුවනට දඬුවම් කිරීමට නීතිය සංශෝධනය කර අලුත් නීති ඇතුළට ගෙන ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද මෙහිදී පෙන්වා දුන්නේය.

මහින්ද රාජපක්ෂ රජයට අප්‍රිකාවේ ජනාධිපති ජැකොබ් සුමා, මැන්ඩෙලා සත්‍ය කොමිසම ක්‍රියාත්මක කරන්නට කළ යෝජනාව එදා ක්‍රියාත්මක කළා නම් මේ ප්‍රශ්නය කලින්ම අවසන් කිරීමට හැකියාව තිබුණද හිටපු නායකයා හා ඔහුගේ ආණ්ඩුව එය යටපත් කළ බවත් වික්‍රමසිංහ මහතා පැවැසීය.

සත්‍ය කොමිසම ආදර්ශයට ගෙන ශ්‍රී ලංකාවේ සත්‍ය කොමිසමකින් මේ ප්‍රශ්නයට විසඳුමක් සොයන්නට අප්‍රිකාවේ - ඩෙස්මන්ඩ් ටුටූ දේවගැතිතුමා මෙන් නොව ගිහියකුගේ සහභාගිත්වයෙන් සිදු කිරීමටත්, මල්වතු අස්ගිරි මහ නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ සෙසු ආගමික නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් උපදේශක සභාවක් පත්කර යෝජනාව ක්‍රියාත්මක කරන අන්දම ගැන තීරණයක් කර තිබෙන බවත්, ඒ පිළිබඳව රට තුළ සංවාදයක් ඇති කරන බවත් ඔහු පැවැසීය.

මේ ප්‍රශ්නයේදී රට තුළ ජාතිවාදය ඇවිස්සීමට ඉඩදෙන්නේ නැතැයි දැඩිව අවධාරණය කළ වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන යෝජනාවෙන් පසු එය විවෘත සංවාදයකට ලක් කරන බවද කීය.

ජිනීවා මානව හිමිකම් කමිටු වාර්තාවේ බොහෝ දේවලට විරුද්ධ වී රජය තුළ සාකච්ඡාවක් කළ බව අනාවරණය කළ අග්‍රාමාත්‍යවරයා, අලුත් යෝජනාවක් ගෙන ඒමට එකඟත්වය පළ කළේ ජනාධිපතිවරයාගේ අනුමැතිය ඇතිව බවද ඔහු කීය.

විදේශ විනිසුරුවරුන් හා නීතිඥවරුන්ගේ සහභාගිත්වය අනිවාර්ය කරලා දැයි කර්තෘවරයකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් වික්‍රමසිංහ මහතා කීවේ නෑ, එහෙම එකක් නෑ කියාය. එය අපි තීන්දු කරන්න ඕනෑ. ඒක නොවෙනවා නම් ඒ අයට නිරීක්ෂණ තත්ත්වය දෙන්න අපිට පුළුවන් බවද ඒ මහතා කීවේය.

ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස එල්.ටී.ටී.ඊ.ය රටට විශාල විනාශයක් කළා. එල්.ටී.ටී.ඊ.ය යුද අපරාධ සිදුකළ බවට මේ යෝජනාවට ඇතුළත් කර ගැනීමට පුළුවන් වීම අපට විශාල ජයග්‍රහණක්. එල්.ටී.ටී.ඊ.යත්, ප්‍රභාකරනුත් මේ රටේ දෙමළ නායකත්වය සමූලඝාතනය කළා. ඒ නායකත්වය අපි නැවත හදන්න ඕනෑ. එල්.ටී.ටී.ඊ.ය හා ප්‍රභාකරන් අපේ පක්ෂෙ අපේ මුළු නායකත්වයත් විනාශ කරගෙන ආවා. මමත්, තව කීප දෙනෙකුත් පමණයි බේරුණේ. ශ්‍රී .නි.ප.යේ අයත් එල්.ටී.ටී.ඊ.ය විනාශ කළැයි වික්‍රමසිංහ මහතා කීවේය.

ප්‍රජාතන්ත්‍රවාදීව ඕනෑම දෙමළ නායකයකුට අලුතින් නැඟිටින්න අපි ඉඩ දෙන්න ඕනෑ. ප්‍රභාකරන් කොළඹත් විනාශ කළා. මුළු යාපනයම විනාශ කළා. දෙමළ ජනතාවත්, දෙමළ සංස්කෘතියටත් කළ විනාශය අති විශාලයි. ඒ නිසා අපි යාපනය යළි ගොඩනඟන්න ඕනෑ යැයිද අග්‍රාමාත්‍යවරයා කීය.

ඇතැම් දේශපාලන පක්ෂ ජාතිවාදය අවුස්සා මේ රටට විශාල විනාශයක් කළ බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා පක්ෂ පමණක් නොව මාධ්‍යද ජාතිවාදය අවුස්සා විශාල විනාශයක් කර තිබෙන බවද පැවැසීය.
මහින්ද බිල්ලට දෙන්නෙත් නෑ. ඔහුගේ පවුලේ අය බිල්ලට දෙන්නෙත් නෑ. හමුදාවල රණවිරුවනුත් බිල්ලට දෙන්නේ නැතැයි අග්‍රාමාත්‍යවරයා දැඩි ලෙසම ප්‍රකාශ කෙළේය.


Share on Google Plus