රෝහිත බෝගොල්ලාගම දේශපාලනයෙන් සමුගෙන ව්‍යාපාර කටයුතු අරඹයි.


පසුගිය මහමැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කොට පරාජයට පත්වූ හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කොට ඇත. ඒ අනුව ඒ මහතා තම පූර්ණ කාලය ව්‍යාපාර කටයුතු සඳහා කැප කිරීමට බලාපොරොත්තු වේ.

රෝහිත බෝගොල්ලාගම මහතා ඔහුගේ පුත් දක්ෂිත බෝගොල්ලාගම මහතා සමග එක්ව රාජගිරියේ පිහිටි ‘සිටි ෆිනෑන්ස්' මූල්‍ය ආයතනය මිලදී ගෙන ඇත. ඒ සඳහා ඔවුන්ට මූළ්‍ය පහසුකම් සපයා ඇත්තේ සිංගප්පූරුවේ සුප්‍රසිද්ධ බැංකුවක් මගිනි. එකී සිංගප්පූරු බැංකුවේ බෝගොල්ලාගම පවුල සතු ස්ථාවර තැන්පතු ඇපයට තබාගෙන මෙම මූල්‍ය පහසුකම් ඔවුන් වෙත ලබා දී තිබේ.

පසුගිය මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ලබා දෙන ලෙස බෝගොල්ලාගම මහතා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඉල්ලා සිටි අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ නාම යෝජනා ලබා ගැනීමට පෙර උසාවියේ ඇති නඩු අවසන් කරගෙන පැමිණෙන ලෙසයි. රනිල් වික්‍රමසිංහ මහතා මෙවැනිම උත්තරයක් මීට පෙර දැනට රිමාන්ඩ් භාරයේ පසුවන සජින් වාස් ගුණවර්ධනටද ලබා දී තිබුනි. රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රසිද්ධියේ අපහාස කිරීමට සජින් වාස් ගුණවර්ධන පෙළඹුනේ ඉන් අනතුරුවය.

Share on Google Plus

0 comments:

Post a Comment