පොලිස් අයියලාගේ අමානුෂික වැඩ මෙන්න. (Photos)


යතුරු පැදියකින් ගමන්කල ආබාධිත පුද්ගලයෙකුට කහටගස්දිගිලිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියකු අද උදෑසන ඉතා අමානුෂික අයුරින් බිම පෙරලාගෙන පහරදී තිබේ.

එක් පාදයක් අහිමිව තිබෙන පුද්ගලයා යතුරු පැදියකින් පැමිණ ඇති අතර ඔහුට යතුරු පැදිය නවතන ලෙස රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු නගර ආසන්නයේදී සංඥා කර තිබේ.

එහෙත් අදාල සංඥා නොතකා යතුරුපැදිය ධාවනය කල පැදිකරු කහටගස්දිගිලිය ප්‍රධාන වීදියේදී පොලිස් නිලධාරීන් විසින් අල්ලාගන්නා අතර ඒ අවස්ථාවේ ඔහු පැළදසිටි බොරු කකුලද ගැලවී ගොස් පැදිකරු පදික වේදිකාවේ ඇදවැටී තිබේ.

රාජකාරියේ නිරතව සිටි එක් පොලිස් නිලධාරියකු ඔහුව අල්ලාගෙන ඉතා අමානුෂික අන්දමින් පහරදී තිබේ.

පුද්ගලයාට පහරදෙන අයුරු නගරයේ සිටි විශාල පිරිසක් බලා සිටියත් ඊට විරෝධය පළකිරීමට කිසිවකු ඉදිරිපත් නොවීය.

සිද්ධිය දුටු බොහෝ පිරිසක් කියා සිටියේ රථවාහන වැරුද්දක් සිදුකල අබාධිතයකුට මෙසේ අමානුෂිකව අමනුෂ්‍යයන් ලෙස පහරදීම කිසිසේතම අනුමත කල නොහැකි බවයි.

දරුණු ගණයේ අපරාධයක් සිදුකල පුද්ගලයෙකුට පහර දෙන අයුරින් ඔහු බිම පෙරළාගෙන පහරදීම නින්දිත බව ඔවුන් පැවසූහ.

මේ සම්බන්ධයෙන් කහටගස්දිගිලිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්ෂමන් රන්වලආරච්ච්ගෙන් දුරකථනයෙන් කල විමසීමකදී ඔහු කියා සිටියේ එවැනි බරපතල සිද්ධියක් පිළිබදව තමන් දැන නොසිටි බවයි.

එහෙත් බීමතින් යතුරු පැදියකු පැමිණි පුද්ගලයකු පොලිස් අණ නොතක ධාවනය කල අවස්ථාවේ අත් අඩංගුවට ගෙන ඇති බවත් එම පුද්ගලයා පොලිස් නිලධාරීන් සපා කමින් පහරදීමක් සිදුකර ඇති බව තමන්ට වාර්තා වූ බව ඔහු සදහන් කළේය.

අදාල සැකකරු බීමතින් රිය පැදවීමේ චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කල බව ඔහු වැඩි දුරටත් සදහන් කලේය.


-දිනමිණ Online






Share on Google Plus