මහින්ද රාජපක්ෂව ජනපති කොමිසම ඉදිරියට.


කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වාගෙන යන බරපතල දුෂණ හා වංචා විමර්ශන ජනාධිපති විශේෂ කොමිෂම හමුවට, පසුගිය රජය සමයේ සිදු වු බව කියන බරපතල මූල්‍ය වංචා සහ දුෂණ පිළිබඳව ප්‍රශ්න කිරිම සඳහා හිටපු ජනාධිපති කුරුණෑගල දිසිත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂව අද (23) පෙරවරු 9ට කැඳවා තිබේ.

ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ස්වාධින රූපවාහිනි සේවය ඔස්සේ  ප්‍රචාරය කිරිමට ගිවිසගත් රුපියල් කෝටි දහයකට අධික දැන්වීම් ප්‍රචාරය කර ඇති බවත් ඒ වෙනුවෙන් ගෙවිය යුතු මුදල් නොගෙවිම නිසා ස්වාධින රූපවාහිනියට පාඩු සිදුවීම ගැන කරන පරික්ෂණ සඳහා ප්‍රකාශ සටහන් කර ගැනීමට ඔහු කොමිසම හමුවට කැදවීමට පියවර ගත් බව වාර්තා වේ.

ස්වාධින රූපවාහිනි සේවයේ විගණන අංශය විසින් කරුණු අභ්‍යන්තර විගණනයකදී 2014 නොවැම්බර් 24 වැනි දා සිට 2015 ජනවාරි 05 වැනි දා අතර කාලයේ දී ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දැන්විම් පළ කිරිමට ගිවිසගෙන තිබී ඇති අතර ඒ සඳහා රුපියල් 62,639,600ක් ගෙවා ඇති බව එම පරික්ෂණයේ දී හෙළි වී තිබිණි.

ඒ දැන්වීම්වලට අමතරව රුපියල් 101,773,058ක් ස්වාධින රූපවාහිනි නාළිකාවක ඔස්සේ විකාශනය කර ඇතැයි ද මෙතෙක් ඒ මුදල් ගෙවා නැතැයි ද විගණන පරික්ෂණයේ දී සොයාගෙන ඇත.

මීට අමතරව රුපියල් 44,678,812ක දැන්වීම් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ස්වාධින රූපවාහිනිය ඔස්සේ විකාශනය කිරිමට ගිවිසගෙන සිටියත් ඉන් විකාශනය කර ඇත්තේ රුපියල් 2,647,812 ආසන්න දැන්වීම් බවත් ඉතිරි මුදල සිරිසේන මහතාට ගෙවීමට සිදුව ඇති බවද පෙන්වා දෙන විගණන වාර්තාව එලෙස ආපසු මුදල් ගෙවීමට සිදුවිම මගින් ද ස්වාධින රූපවාහිනියට පාඩු සිදු වී ඇති බවත් වාර්තා වේ.

එමෙන්ම රාජපක්ෂ මහතාගේ දැන්වීමක් ප්‍රචාරය කිරිමේදී අය කළ මුදල හා සැසඳීමේදී සිරිසේන මහතාගේ දැන්විමක් ප්‍රචාරය කිරිමේ දී රාජපක්ෂ මහතාගේ දැන්වීම් සඳහා ගත් කාලයට බෙහෙවින් අඩු මුදලක් අයකර එමෙන් දෙගුණයක් සිරිසේන මහතාගේ දැන්වීම් වලින් අයකර ඇතැයි ද විගණන වාර්තාව මගින් හෙළි වී තිබේ.

Share on Google Plus