මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඝාතනයට හිටපු ප්‍රබල ඇමැතිවරයකු සම්බන්ධයි.


පසුගිය ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගේ අනුදැනුම මත උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඝාතනය කෙරුණේ. මම ඒ ගැන දැන සිටියා. අධිකරණය මඟහැරියේ මගේ සහ බිරියගේ ජීවිතවලට තිබුණු මරණ තර්ජන හේතුවෙන් යැයි පළාත් සභා හිටපු මන්ත්‍රි නිශ්ශංක දිසානායක මහතා වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයේදී පැවැසීය.

උතුරු මැද ප්‍රථම පළාත් සභාවේ එක්සත් සමාජවාදී පක්ෂයේ මන්ත්‍රිවරයකු වශයෙන් කටයුතු කළ මැදවච්චිය අංක 144 දරන ලිපිනයේ පදිංචි දිසානායක මුදියන්සේලාගේ පියදාස දිසානායකලාගේ නිශ්ශංක දිසානායක යන අය විවෘත අධිකරණය හමුවේ මේ ප්‍රකාශය කෙළේය. මුදල් වංචාවක් සම්බන්ධයෙන් මාස දෙකකට වැඩි කාලයක් ඔහු රක්ෂිත බන්ධනාගාර ගතව සිටී.

සැකකාර හිටපු මන්ත්‍රිවරයා පුද්ගලයකු ප්‍රංශයේ රැකියාවක් සඳහා යවන බව පවසමින් රුපියල් ලක්ෂ පහක මුදලක් ලබාගෙන රැකියාව ලබා නොදී එම මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් වවුනියාවේ මහෙස්ත්‍රාත් අධිකරණ අංක 1 විභාග වන නඩුවක ප්‍රධාන සැකකරු ලෙස චෝදනා ලැබ සිටින අතර මොහු කාලාන්තරයක් තිස්සේ අධිකරණය මඟහැරීම නිසා අධිකරණය මඟින් විවෘත වරෙන්තු නිකුත් කර තිබියදී මීට මාස 2කට පමණ ඉහතදී පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

අධිකරණය මඟහැරීමට හේතුව වූයේ බිරියටත් තමන්ටත් මරණ තර්ජන එල්ලව තිබූ නිසයි. මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඝාතනය කරනු ලැබුවේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ මරාගෙන මැරෙන සාමාජිකයකු වුවත් එම ඝාතනය මෙහෙය වූයේ පසුගිය ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කළ අයෙක්. (නම පවසයි) ඔහු ළඟ හිටපු දමිළ පුද්ගලයකු තමයි මේ ඝාතනය මෙහෙයවනු ලැබුවේ. (නම පවසයි.)

මා මේ සියලු සිද්ධි දැනගෙන සිටියා. එම නිසා අමාත්‍යවරයා මා සහ බිරිය ඝාතනය කරවීමට කුමන්ත්‍රණය කළා. ජීවිතය බේරා ගැනීම සඳහායි මා මෙපමණ කාලයක් අධිකරණය මඟහරිමින් සැඟව සිටියේ යැයි ඔහු විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

අධිකරණය ඇමතූ වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණ අංක 01හි මහෙස්ත්‍රාත් වශයෙන් කටයුතු කරන රාමකලාමන් මහතා කියා සිටියේ එම සිද්ධිය අධිකරණය හමුවේ විභාග වන නඩුවට කිසිසේත්ම අදාළ නොවන බවයි.

එම ඝාතනය සම්බන්ධයෙන් දන්නා යමක් වේ නම් ජනාධිපති විශේෂ විමර්ශන ඒකකයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට හැකි බව විනිසුරුවරයා විවෘත අධිකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.

සැකකාර හිටපු මන්ත්‍රිවරයා වංචා කර තිබෙන ලක්ෂ 05ක මුදල ගෙවා දැමීමට එකඟතාව පළ කළත් එම මුදල් ගෙවා දමනතුරු ඇප ලබාදිය නොහැකි බව ප්‍රකාශ කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරු තවදුරටත් මේ මස 30 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට නියෝග කළේය.

වවුනියාව මූලස්ථාන පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.


Share on Google Plus