"උම්බෑ කියන්න එපා" - හරීන්.


ඌවේ හිටපු ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පළාත් සභාවේ මුදල් භාවිත කරමින් රුපියල් ලක්ෂ 450 ක් වටිනා BMW වර්ගයේ සුඛෝපබෝගී වාහනයක් ගෙනවිත් පරිහරණය කරණ බවට  ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා කළ ප්‍රකාශයක් ඊයේ (22) ප්‍රසිද්ධියට පත් වුණා.

ඔහු පෙන්වා දුන්නේ  පාර්ලිමේන්තු මන්ත්‍රි වශයෙන් තේරී පත්වුවාට පසු එම වාහනය නැවැත පළාත් සභාවට ලබා දී නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ ඔහුගේ මාධ්‍ය ලේකම් නමින් මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

එම නිවේදනය සම්පුර්ණයෙන් පහතින් දැක්වෙනවා.


"හරීන්ගේ කෝටි 4.05 වටිනා BMW රථය ගැන අළුත් මහඇමති හෙලි කරයි. යන සිරසෙන් යුතු ප්‍ර්‍රවෘත්තිය ගැලරියේ ජනතාව සතුටු කිරිමට ගත් අළුත් ප්‍රධාන ඇමතිවරයාගේ අළුත් උත්සහයකි.


BMW රථයේ ඇත්ත තත්ත්වය මෙන්න. එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පැවති පසුගිය ඌව පළාත් සභාවට කාර් රථය ලබා ගැනීමට වර්තමාන ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටුයතු කරන චාමර සම්පත් දසනායක එවකට ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් සිටියදී අමාත්‍ය මණ්ඩලය විසින් අත ඔසවා අනුමත කරන ලද්දකි.


මාස 05 ක් වැනි කෙටි කාලයක් තුල පළාත් සභාව තුල ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ක්‍රියාකල හරීන් ප්‍රනාන්දුට මෙවැනි BMW රථයක් ලබා ගැනීමට කිසිදු උවමනාවක්‍ නොතිබුණි. කලින් අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබු නිසා මෙම රථය පලාත් සභාවට මිලදී ලබා ගෙන තිබේ. එහෙත් අදාල වාර්තාවෙන් පෙන්වා දෙන පරිදි ඌව පළාත් සභාව මඟින් මෙම රථය සඳහා රු. ලක්ෂ 450 ක් වැය කර‍ නොමැති අතර, එම රථය මිලදී ගැනීමට තීරු බදු රහිතව වැයකර ඇත්තේ රු. ලක්ෂ 94 ක මුදලක් පමණි. 

වර්තමාන වෙලඳ පොලේ තුන් ගුණයක වටිනාකමින් යුතු මෙම රථය උපරිමයට යටත්ව ඉහත මිලට මිලදී ගැනීමෙන් පළාත් සභාවට විශාල වත්කමක් හිමි වී තිබේ. එහෙත් වාහන පිළිබඳ නොදත් පුද්ගලයන් මේ ගැන සිතන්නේ ගමේ ගොඩේ පුවක් වෙළෙන්දෙකු සිතන ආකාරයෙනි. හරීන් ප්‍රනාන්දු ප්‍රධාන අමාත්‍යවරයා මෙම රථය මාස දෙකක් වැනි ඉතා කෙටි කාලයක් තුල පරිහරණය කර ඇති අතර,අප්‍රේල් මස අග භාගයේ සිට මෙම රථය පරිහරණයට ගෙන මාස දෙකක් වැනි ඉතා කෙටි කාලයක් තුල දී එතෙක් තම ප්‍රද්ගලික රථය පරිහරණය කර තිබේ. 

මෙම රථය මිලදී ගැනීමෙන් පළාත් සභාවේ වත්කම් ලේඛනයට අළුත් වත්කමක් එකතු වීම වත්මන් ප්‍රධාන අමාත්‍යවරයාට නොදැනීම කණගාටු විය යුතු කරුණකි.


බදුල්ල මොණරාගල දිස්ත්‍රික් දෙකේ සංවර්ධන කටයුතු සඳහා යෙදවීමට තිබු මුදල් එක් පුද්ගලයෙකුගේ පරිහරණය සඳහා මෙසේ වැය කිරිම නුසුදුසු බව අද ප්‍රකාශ කළත්, එදා අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යධූරය ලැබු අවස්ථාවේ දී අත ඔසවමින් දුන් අනුමැතිය අමතක වීම මන්ද බුද්ධිකත්වයට හේතුවක් යැයි කිව හැකිය. අද බදුල්ල, ‍මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාව ගැන කිඹුල් කදුළු හෙලන වත්මන් ප්‍රධාන අමාත්‍යවරයාට එදා අමාත්‍ය මණ්ඩලයේ දී මේ සඳහා අනුමැතිය දෙන විට බදුල්ල, ‍මොණරාගල දිස්ත්‍රික් ජනතා‍වගේ සංවර්ධන ‍යෝජනා අමතක වීම හාස්‍යයට කරුණකි.

මැතිවරණ කොමසාරිස්වරයාගේ චක්‍ර ලේඛනයට අනූව රජයේ වාහන මැතිවරණ කාල සීමාවන් වලදී පරිහරණය කිරිමෙන් වලකින ලෙස දෙන නියෝගය එලෙසින් අනුගමනය කල හරීන් ප්‍රනාන්දු, වත්මන් අග්‍රාමාත්‍යවරයා විසින් මැතිවරණ කොමසාරිවරයාගෙන් රජයේ වාහන මුදල් ගෙවා පරිහරණය කිරිමට කරන ලද ඉල්ලීමකට දෙන ලද අනුමැතිය අනූව රු. ලක්ෂයක මුදලක් ගෙවා එකී කාලසීමාවේ මෙම වාහනය පරිහරණය කර ඇත. අදාල මුදල් භාරගැනී‍මේ කුවිතාන්සිය මෙහි සඳහන් වේ.

මැතිවරණයෙන් පසුව ද මෙම වාහනය නැවත භාරදී නොමැති බවට එල්ල කරන ලද චෝදනා තරයේ ප්‍රතික්ෂේප වන අතර, එම රථය මේ වන විටත්, ඌව පළාත් සභාවට භාරදී ඇති බව, ප්‍රධාන අමාත්‍යවරයා නොදැන සිටීම කණාගාටුවට කරුණකි.

බුද්ධියෙන් හීන පුද්ගලයෙකුට යම් තනතුරක් ලැබුණ විට එය දරාගැනීමට නොහැකි බව පුංචි දරුවෙකුට වුවත් මනා ලෙස වැටහේ. එය හරියට වළං කඩේට කඩා වැදුනු ගොනෙකු සේ හැසිරීමකි. සත්‍යය හරි හැටි අවබෝධ නොකර යමෙකුට චෝදනා එල්ල කිරිමට පෙර තමන් ‍ඒ පිළිබඳව දෙවරක් සිතා බැලිය යුතුය.

පළාතේ ප්‍රධාන අමාත්‍යධූරය භාරගත් පුද්ගලයෙකු ගැලරිය සතුටු කිරිමට ගනු ලබන උත්සහයන්ගෙන් වැලකී සිටිය යුතුය. ජනවහරේ කියමනක් තියෙනවා ගොනා වුනාට කමක් නෑ උම්බෑ කියන්න එපා කියලා."

මාධ්‍ය ලේකම්


Share on Google Plus