විපක්ෂ නායක ධුරය තවදුරටත් අර්බුදයේ - දුමින්දට වැඩි වාසි.


අටවැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක තනතුරට පත් කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තවමත් අපොහොසත්ව සිටියි.

එම ධුරය සඳහා මේ වනවිට සන්ධානය නියෝජනය කරන නියෝජිතයන් හය දෙනෙකු පිළිබඳව විවිධ අයුරින් සාකච්ඡා කරමින් පවතින බවද වාර්තා වේ. හිටපු කථානායක චමල් රාජපක්ෂ, ආචාර්ය සරත් අමුණුගම, 
එස්.බී. දිසානායක, දුමින්ද දිසානායක, කුමාර වෙල්ගම හා දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ නම් පිළිබඳව මෙලෙස විවිධ මට්ටමින් සාකච්ඡා ආරම්භ කර තිබේ.

මෙහිදී හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයා ලෙස පත්විය යුතු බවට බොහෝදෙනාගේ ඉල්ලීමක් තිබෙන බවද වාර්තා වේ. එමගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සන්ධානයේ සෙසු පක්ෂ අතර පවතින මත ගැටුමද සමථයකට පත්කර ගැනීමට හැකිවෙතැයිද ප්‍රකාශ වේ. 

විපක්ෂ නායකවරයා තෝරාගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විපක්ෂයේ අසුන් ගන්නා මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබාදෙන ලෙසට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පක්ෂ නායකයෝ ඊයේ (31 දා) සන්ධානයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කළහ.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂව සිටි සන්ධාන මන්ත්‍රී කණ්ඩායම කුමාර වෙල්ගම හෝ දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගෙන් අයෙකු විපක්ෂ නායක ධුරය සඳහා පත්කළ යුතුය යන මතයේ සිටියි. 
එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල මහතාගේ පාර්ශ්වයට සහාය දැක්වූ පිරිසගේ අදහස වී ඇත්තේ එස්.බී. දිසානායක හෝ තරුණ මන්ත්‍රීවරයෙකු වන දුමින්ද දිසානායක මහතාට විපක්ෂ නායක ධුරයට පත්කළ යුතු බවයි.

කෙසේ වෙතත් විපක්ෂ නායක ධුරය දුමින්ද දිසානායක මහතාට හිම්වීමට වැඩි ඉඩක් පවතින බවට අළුත් ම ආරංචි මාර්ග පවසයි.

Share on Google Plus

0 comments:

Post a Comment