ගෝඨා ඇතුළු 9 දෙනෙක් ජනාධිපති කොමිසම හමුවට.


පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා රක්නා ලංකා ආරක්ෂක සමාගමේ සේවකයින් යෙදවීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසක් ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට කැඳවා ඇති බව වාර්තා වේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, මේජර් ජෙනරාල්වරුන් වන පාලිත ප්‍රනාන්දු, කේ.බී. එගොඩවෙල, එම්.ආර්.ඩබ්. සොයිසා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකයින් වන උපාලි කොඩිකාර, දුමින්ද සිල්වා, ධනසිරි අමරතුංග, ජනක රත්නායක යන පිරිසට මෙලෙස කැඳවා ඇති අතර රක්නා ලංකා ආරක්ෂක සමාගමේ සේවකයින් 550 දෙනෙකු මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීම, මැතිවරණ සමයේ එම සමාගමේ රුපියල් ලක්ෂ 86ක් අවභාවිතයේ යෙදවීම සම්බන්ධයෙන් මෙම පිරිසට චෝදනා එල්ල වී තිබේ.

රක්නා ලංකා සමාගමේ සේවකයින් ශ්‍රීලනිප සංවිධායකවරු හරහා කෝට්ටේ, කොලොන්නාව, දෙහිවල, කඩුවෙල, මහරගම යන ප්‍රදේශවල මැතිවරණය කටයුතුවලට යොදවා ඇති අතර ඔවුන්ගෙන්  පුරප්පාඩු වූ තනතුරු සඳහා සිවිල් ආරක්ෂ භටයින් යෙදවීමත්, ඔවුන්ට රක්නා ලංකා නිල ඇඳුම් ඇන්දවීමත්, රජයට අයත් අවි ආයුධ බලපත්‍ර නොමැතිවරය ගබඩා කර තැබීමත් ඇතුළු චෝදනාද  ගෝඨාභය ඇතුළු පිරිසට එල්ල වී තිබේ.

ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත ලැබී ඇති පැමිණිලි 800ක් අතුරින් පරීක්ෂණ අවසන් කොට විභාගය සඳහා ගත් දෙවැනි පැමිණිල්ල මෙය බවට වාර්තා වේ.

Share on Google Plus

0 comments:

Post a Comment