බිල ගෙවන තුරු මළ සිරුර දින 7ක් රෝහලේ.


නාරාහේන්පිට ලංකා හොස්පිටල් පෞද්ගලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට හදවත් සැත්කම අවසානයේදී මිය ගිය පුද්ගලයෙකුගේ මෘත ශරීරය බිල නොගෙවීම මත රෝහලේ දින 7ක් රඳවා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ‍නාරාහේන්පිට පොලිසිය ඊයේ (16) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේ කරුණු වාර්තා කළේය.

රෝහලේ බිල වන රුපියල් 1974585.00 ක මුදලක් නොගෙවීම මත බටුවත්ත රාගම පදිංචි දළුවත්ත පටබැඳිගේ තිලක් දළුවත්ත යන අයගේ (62) මෘත දේහය මෙසේ ඥාතීන් වෙත බාරදීම රෝහල ප්‍රතික‍්ෂේප කර තිබේ.

නො. 96 බටුවත්ත, රාගම ලිපිනයේ පදිංචි දළුවත්ත පටබැඳිගේ වික්‍රමසිංහ යන අය 2015/9/14 දින පොලිසියට පැමිණිලි කරමින් ඔහුගේ අයියා වන දළුවත්ත බටබැඳිගේ තිලක් දළුවත්ත (62) හෘද රෝග සැත්කමකට 2015/8/25 ලංකා හොස්පිටල් වෙත ඇතුළත් කළ බවත් හෘද රෝග සැත්කමකදී අවසානයේදී මිය ගිය බවට පවසා සිටී.

එම සැත්කම රුපියල් හයලක්ෂ පනස්දහසක මුදලක් පොරොන්දු වී රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීම රුපියල් ලක්ෂ 3ක මුදලක් ලබා දුන් බවත් H.G.C. 1-0048 826 යටතේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබාගත් බවත් 2015/8/26 වන දින හෘද සැත්කම වෛද්‍ය ගාන්ධි මහතා විසින් සිදු කළ බවට පැමිණිල්ලේ සඳහන්ය.

සැත්කමෙන් පසු තමාගේ අයියා අසාධ්‍ය තත්ත්වයක් ඇති වූ නිසා කොළඹ ජාතික රෝහලට මාරු කරන ලෙස රෝහල් අධිකාරියෙන් ඉල්ලීමක් කළ ද ඔවුන් එය නොසලකා හැර මෙම රෝහලේම තබාගෙන ප්‍රතිකාර කළ බවත් 2015/9/11 වන දින අයියා මිය ගිය බවට පැමිණිලිකරු පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර සිටී.

අයියාගේ මෘත ශරීරය ලබාගැනීම සඳහා ප්‍රතිකාර කරන ලද මුදල් රුපියල් 1974585ක බිල්පතක් ලබාදුන් බවත් ඉන් ලක්ෂ තුනක මුදල අඩු කර 1674585.00 මුදල ලබාදෙන ලෙසට රෝහල පැවසූ බවත් එම මුදල ලබාදෙනතුරු මෘත දේහය මුදා නොහැර රෝහලේ රඳවාගෙන ඇති බවට පැමිණිල්ලේ සඳහන්ය. සිද්ධිය සම්බන්ධ විමර්ශන පවත්වන පොලිසිය ලංකා හොස්පිටල්හි රෝහල් වෛද්‍ය අධිකාරී වන්නිනායක මුදියන්සේලාගේ සුනිල් රත්නප්‍රිය, නීති නිලධාරී නුවන්ති ගුණවර්ධන පොලිසියට ගෙනවිත් ප්‍රකාශ ලබාගත් බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.


-Dinamina.lk

Share on Google Plus

0 comments:

Post a Comment