ලබන සතියේ තවත් 50ක් දිවුරුම් දෙති.


ජාතික ආණ්ඩුවේ අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන් මහජන නියෝජිතයින්ගේ නාම ලේඛනය ගැසට් පත‍්‍රයේ පළ කිරීම ලබන සතියේ සිදුකෙරෙනු ඇතැයි දේශපාලන ආරංචි පවසනවා.

එක් එක් අමාත්‍යංශයට අයත් ආයතන ලේඛනය ගැසට් පත‍්‍රයේ පළ කිරීම ඉන් අනතුරුව සිදුකෙරෙනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. 

මේ අතර ජාතික ආණ්ඩුවට අදාළව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවෙන් කැබිනට් අමාත්‍යවරුන් 48 දෙනෙකුටත් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 45 දෙනෙකුටත් අනුමැතිය ලබා ගැනුණා.

මේ දක්වා දිවුරුම් දී තිබෙන්නේ කැබිනට් අමාත්‍යවරුන්  43 දෙනෙකු පමණයි. ඉතිරි කැබිනට් අමාත්‍යවරුන් 05 දෙනා ද රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 45 දෙනා ද ලබන සතියේ දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි කියා සිටියා. 

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ ප‍්‍රකාශ කළේ කැබිනට් අමාත්‍ය ධූර 48න් 33ක් එක්සත් ජාතික පක්‍ෂයටත් 15ක් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයටත් හිමිවන බවයි. දැනට දිවුරුම් දී සිටින කැබිනට් අමාත්‍යවරුන් 43 දෙනාගෙන් 32 දෙනෙකු එක්සත් ජාතික පක්‍ෂයෙන් ද 11 දෙනෙකු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ද වනවා.

ඒ අනුව ඉතිරි කැබිනට් අමාත්‍ය ධූර 05 බෙදී යන්නේ එක්සත් ජාතික පක්‍ෂයට එකක් සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට 04ක් වශයෙන්. 

රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධූර 45න් 27ක් එක්සත් ජාතික පක්‍ෂයෙන් තේරී පත්වු මන්ත‍්‍රීවරුන්ට හිමිවනු ඇති. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හිමිවන රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධූර ගණන 18ක්. 

Share on Google Plus

0 comments:

Post a Comment