රනිල් ගැන රහස් 2ක් මෛත්‍රි හෙළිකරයි.


පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථාන ශාලාවේදී ඊයේ (06දා) පැවැති එක්සත් ජාතික පක්ෂයේ 69 වැනි සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙතෙක් හෙළි නොකළ රහස් දෙකක් හෙළි කෙළේය.

නොවැම්බර් 22දා මම පාර්ලිමේන්තුවේ මගේ ඇමැති අසුනේ වාඩිවෙලා හිටියේ. එවිට මම සෞඛ්‍ය ඇමැති වගේම ශ්‍රී ලනිප මහ ලේකම්. මේ වෙනකොට 20 කණ්ඩායම ගත් තීරණය හැර වෙන කිසිම ලියවිල්ලක් ගිවිසුමක් අස්සන් කර තිබුණේ නැහැ. මම එදා පුටුවේ වාඩිවෙලා ඉන්න විට රනිල් වික්‍රමසිංහ මැතිතුමා මට ඇහෙන් සංඥාවක් කළා අපි යමුද කියලා. ඒ අනුව අපි පාර්ලිමේන්තුවෙන් ඉවතට ඇවිත් චන්ද්‍රිකා මැතිනියගේ නිවෙසට යන්න පිටත් වුණා.

එවිටම වගේ චොපර් එකක් පාර්ලිමේන්තුවට ලෑන්ඩ් කළා මගේ ගමන නවත්වන්න. චොපර් එකේ ආපු අය මාව පාර්ලිමේන්තුවේදී අල්ලා ගත්තා නම් අපේ ගමන ප්‍රමාද වෙනවා. ඒත් අපේ තීරණය නම් වෙනස් වෙන්නේ නැහැ.

දෙවැනි සිද්ධිය ජනාධිපතිවරණ අවසන් ප්‍රචාරක දිනය වූ ජනවාරි 5දා. එදා මම මාතර, ගාල්ල, කළුතර, මොරටුව රුස්වීම් ඉවරකරලා ආවේ මරදාන රැස්වීමට. ඒත් ආරක්ෂක අංශ මාව ගෙනගියේ මගේ නිල නිවෙසට. මරදාන රැස්වීමට යන එකට ආරක්ෂක නිලධාරීන් තදින්ම විරුද්ධ වුණා. මගේ රියැදුරුත් යැව්වා. මම විතරයි නිවෙසේ හිටියේ. ඒ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මට කතාකර විමසුවා මරදානේ රැස්වීමට එන්නේ නැද්ද කියලා. මම කිව්වා එන්න විදියක් නෑ. රියැදුරත් නෑ කියලා. කවුරුත් ඕන නැහැ ඔබතුමා ඔහොම ඉන්න මම එන්නම් කියලා එතුමා කීවා. ටික වෙලාවකින් එතුමා පැමිණ මාව මරදානේ රැස්වීමට කැඳවාගෙන ගොස් වේදිකාවේ ආරක්ෂක කුටියක මාව රැඳවූවා.

ඉන්පසු වික්‍රමසිංහ මැතිතුමා ජනතාවට දෑත් ඔසවා ආචාර කරමින් රැස්වීම් භූමිය වටේම ගියා. ආපසු වේදිකාවට ආපු එතුමාව මම එදා දැක්කේ අවුරුදු 20-25ක කොලු ගැටයෙක් විදියටයි. එතුමා මාව වේදිකාවේ තියල ජනතාව අතරට ගිහින් පෙන්නුවේ ඔබට අපේ රැස්වීමේ කිසි අනතුරක් නැහැ. වගකීම මම භාර ගන්නවා කියන කාරණාවයි. අවුරුදු 20-25ක කොල්ලෙක් වගේ ඒ තරම් තරුණ විදියට එතුමා ඒ වෙලාවේ හැසිරුණේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද සිය කතාවේදී යෞවනයන් වෙනුවෙන් එජාපයෙන් ලබාදෙන ත්‍යාගයක් ගැන සඳහන් කෙළේය. අපේ පක්ෂයේ 70 වැනි වර්ෂය සඳහා යෞවන කටයුතු කාර්යාලයක් සඳහා රුපියල් මිලියන 200ක අරමුදලක් පිහිටුවනවා. එයින් මහල් 4ක ගොඩනැඟිල්ලක් ඉදිකරනවා. අපේ පක්ෂයේ අනාගතය සඳහායි මේ කර්තව්‍යය කරන්නේ යැයි කීවේය.


Share on Google Plus

0 comments:

Post a Comment